New to Nutbox?

සත්තමයි වෙන කවුරුවත් නෑ, අපිට මිස් නිල් අහස් කුස හැර....

0 comments

ayesha98
64
4 days agoSteemit3 min read

1000115420.jpg
source

මේ රටේ වගේම ලෝකයේ තියෙන නරකම දේ තමයි ජාති භේද කුලභේද ආගම් භේද කියන දේ.මිනිස්සුන්ට එක එක බැමි දාලා ඔවුන්ව වෙන් කරලා තියෙන්නේ හරි පහත් විදියකට.මේක කොයි වගේද කියනවනම් , සමහර වෙලාවට පාසල් කාලයේ ඉඳලම, ඒ කියන්නේ පොඩි ළමයින්ගේ තත්ත්වයේ ඉඳලම ඒක ඇතිවෙන තරමට උදාහරණ තියෙනව.අද මම මේ ගැන ලියන්න යන්නේ ශෂික සදීප් ලියපු හරි ලස්සන කවියක් පාදක කරගෙනයි.මේක තියෙන්නේ ඔහුගේ කවි පොත වන , අම්මාපයි මං කඩුව දුන්නා පොතේ, 47 වෙනි කවිය විදිහට.කවියේ නම "පිටසක්වල ළමයෙක්".ඉතින් කවියේ නිමිත්ත වගේම කවිය කියෙව්වට පස්සේ කවියේ මාතෘකාවට හේතුව වගේම රටේ පවතින සමාජ යථාර්ථය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්.ඉතින් කියවල බලන්න ආරාධනා කරනවා ඔයාලා හැමෝටම අපේ සමාජයේ තියෙන එක්තරා විදිහක පිළිකුල් පැත්තක් ගැන.


නිමිත්ත: තම පන්තියේ සිටින සිසුවෙකුගේ අමුතු හැසිරීමක් නිරීක්ෂණය කරන ගුරුවරියක විසින් මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම සිසුවාගේ මව පාසලට කැඳවන ලදී.මේ එම අවස්ථාවේදී සිසුවාගේ අමුතු හැසිරීම් සම්බන්ධයෙන් ඔහුගේ මව විසින් ගුරුවරියට ලබාදුන් පිළිතුරයි.

අහස ඉර හඳ වලාකුළු තරු
තවත් වෙන වෙන ලෝක වල් ගැන
පොඩි එකා ඇයි කියවන්නේ මේ
නිතරෝම මහා අමුතු විස්තර
දේව බැල්මක් පුනර්භවයක්
මොලේ තැලිලා නෙවෙයි මිස් ඔය
ඉන්න මං පහදා කියන්නම්
මෙව්ව ගැන ඌ දන්නේ කොහොමද…

කකුල් දෙක කකියන තුරාවට
ඇවිදලා හැම ගෙයක් ගානෙම
මහපු පාපිසි දෙකක් සියයට
දෙන එකයි මිස් මගේ ජොබ් එක
දවසේම හාමතේ දුවලා
මහ රෑට කිරි එරෙන්නැති කොට
හඳෙන් ගෙන ආ පැනියි කියලයි
හාල් කැඳ ටික පෙව්වෙ ඕකට

පොතට බඩු දී අතින් අල්ලන
හන්දියේ මුදලාලියා ඇර
එන්න දුන්නෑ පන්සලටවත්
ගමේ උන් අඩු කුලේ කිය කිය
තනියෙන්ම පොඩි එකා ඉද්දි
සරුංගල් උඩ යනවා බල බල
හඳේ හාවයි ඌට හිටියේ
එකතු වී වැලි බත් උයන්නට

තහඩු ගැලවුණු වහලෙ පහළින්
තියෙන උගේ අප්පගේ ලෙඩ ඇද
එහා කොනටම ඇදිය යුතුමයි
වැස්ස දාකට තෙමෙන්නට පෙර
තාත්තට ඌ ගොඩක් කාලයි
ඒක හින්දම ගොරවනා හඬ
ඇහෙනකොට වූ ඉවෙන් දන්නවා
වැස්සේ සැර කීයටද යන වග

කඩන් වැටෙනා තරුවකට හරි
කිව්වොතින් මේ අපි විඳින දුක
සතුට ඒවි පුතේ අපිටත්
ඌට දවසක කිව්වනේ මම
පන්තියේ ඌ උඩ බලාගෙන
ඉඳී නම් ඔය කියන විදියට
වල්ග තරුවක් හොයනවා ඇති
නිමක් නැති හිස් අහස බලබල

ජාති ආගම් කුලය දුප්පත්
බැමි වලින් බැඳ තබා හිරකර
අම්මේ අපි තනියෙන්ම තියලා
මොකද මේ ලෝකයෙන් වෙන්කර
ඉතින් අඟහරු ලෝකෙ ගැන ඌ
මිසී එක්කල කියපු විස්තර
මාත් එක්කත් කියලා තියෙනවා
අම්මේ අපි එහේ යමුයි කිය කිය

අහස ඉර හඳ වළාකුළු තරු
තවත් වෙන වෙන ලෝකවල් ගැන
කොල්ලා ඇයි වැඩිපුර දොඩන්නේ
හේතු ඩිංගක් තමයි මිස් ඔය
ලෝකයෙන් අපි කොන් කරද්දී
බෙදාගන්නට අපේ දුක සැප
සත්තමයි වෙන කවුරුවත් නෑ
අපිට මිස් නිල් අහස් කුර උස හැර

Comments

Sort byBest