ඇවිත් ගිය අමුත්තා

senehasa -

අද උදේ මම කුස්සියේ කොළ කැඳ හදනවා. මගේ මහත්තයා පත්තරේ විස්තරේ බලනවා. බීනුත් ශාලෙට වෙලා ඉන්නවා. මට ඇහෙනවා මගේ මහත්තයා කියනවා අම්මිට කියන්න අම්මිට කියන්න කියල. මොකක්ද මේ මට කියන්න කියන්නේ කියල බලන්න මමත් ආව ශාලෙට. මෙන්න බොලේ අපේ ගෙදරට අලුතින් අමුත්තෙක් ඇවිත් මහත්තයෙක් වගේ පුටු සෙටි එකේ ඇන්දට නැගල වාඩි වෙලා ඉන්නවා.

මේ කවුද මේ, මෙයා කොහේ ඉදලද ආවේ කියල මම එයා ළඟට ටික ටික කිට්ටු කළා. බීනුත් හරිම විපරමින් එයා දිහා බලාන ඉන්නවා. කවදාවත් අපේ ගෙදර නොහිටපු අමුත්තා කවුද කියලා . මම ළගටම ගියත් එයා නෙමේ අහකට ගියේ. ඉතින් ඔයාල දන්නවද ඒ කවුද ඇවිත් හිටියේ කියල. ගෙදරක ඇති කලැයි කියලා අනුමාන කරන්න පුළුවන් මයිනෙක්. මම කුස්සියට ගිහින් බත් වලින් මිටක් පෙට්ටි පියනක දාල එයා ලගට කරලා අල්ල ගෙන හිටිය. අනේ මෙන්න මෙයා කිසිම බයක් නැතිව ඒ බත් ටික කනවා. මම කන්න පැටියෝ කියලා එයාට බත් දෙද්දී මගේ බීනුට හොදටම ඊර්ශ්‍යා හිතිලා අහක බලාන "ග්ර්ර් ...." ගාල දිගටම පොඩි ශබ්දයක් දානවා. මහත්තයාට හොදටම හිනා එයාගේ drama එකට. මමත් තව ටිකක් එයාව අවුස්සන්න බොරුවට මයිනට ආදරේ පෙන්නුවා. අමුත්තත් ඉතින් දුන්න බත් ටික ඔක්කොම කෑව කියන්නකෝ.

මගේ මහත්තයටත් ආශ හිතිලා එයත් ගෙඩියක් දුන්න, ඒකත් බාගයක් වගේ කෑවා. අපිට මෙයාව එළියට අරින්න දුකයි. මොකද පරිසරය හුරු නැති කෙනෙක් වගේ ඒකයි අපේ ගේ ඇතුලට ආවෙ. ඉස්සරහ ගෙදර පුතාලට call එකක් දීල බැලුවා එයාල හදා ගන්න කැමතිද කියල. එයාලට කූඩුවක් නැහැ කියල එපා කීවා. අපිත් කැමති නැහැ කූඩු කරලා සත්තු හදන්න. මහත්තයා කීව ඔහොම ඉන්න අරින්න, ඉන්නවා නම් ඉදියි, යනවනම් යයි කියල.

මමත් ගියා කුස්සියට. සැරින් සැරේ ඇවිත් බලද්දී එක වෙලාවක කෑම කාමරේ මේසේ උඩ. තවත් වෙලාවක සීලින් ෆෑන් එක උඩ. ආයෙත් කර්ටන් බාර් එක උඩ. හරි ලස්සනට විසිල් කරනවා. මොනවදෝ කියනවා. හොදට ගෙදරක කතා කරන්න පුළුවන් විදියට ඇති කල සතෙක්. අපි කෝකටත් කියල බිනුව ගැට හැහුව. කොහොම හරි අපේ ගේ ඇතුලේ පැය දෙකක් විතර හිටිය ලස්සන ශබ්ද දදා එහාට මෙහාට යමින්. හරිම හීලෑ ගතියක් තමා තිබුණේ. මම පැය දෙකකට විතර පස්සේ බලද්දී අපේ ගෙදර ඉස්සරහ දොරේ වහල විසිල් කලා. මමත් පොඩි විසිල් පාරක් ගහද්දි ඒකට පිළිතුරුත් දුන්න. ආයේ ඇවිල්ල බලද්දී එයා හිටිය තැන නැහැ. ඉගිල්ලිලා ගිහින්. මම එළියට බැහැල බැලුවා කොහෙවත් හිටියේ නැහැ. ගියාට කමක් නැහැ අනේ වෙනත් සතෙකුට ගොදුරු නොවී.

හදිසියේ පැමිණ හදිසියේ පිටත් වුණ අමුත්තා නැවත එයාගේ නිවහනට යන්න ලැබෙයිද? කියල හිතමින් මම මගේ වැඩ වලට හිත යොමු කලා.

ස්තුතියි.