ඉස්සර අපිට නිවාඩු කාලයක් දැම්මේ අධ්‍යාපනික වැඩ වලින් බර වුණ ඔලුවට නිදහසක් ලබා දෙන්න.ඉතින් නිවාඩු කාලේ පටන් ගත්තම අපිට වෙන දේවල් මතක් උනේ නැහැ. නිවාඩුවක් ලැබෙනවා කියලා දැනගත්තට පස්සේ අපි මුලින්ම කරන්නේ ගෙදර අයත් එක්ක සතුටින් කාලය ගත කරන එක මවාගන්න හැටි. ඒවගේම අපි ආස තැන්වල ඇවිදින්න අපි ආස කෑම කන්න තමයි අපි ගොඩක්ම ආස උනේ. මම නම් ඉස්සර කරන්නේ නිවාඩු මාසේ පටන් ගන්න කොටම අම්මට හරි අක්කලාට කියලා හරි මම ආස කෑම ලිස්ට් එකක්ම හදවගන්න පොරොන්දු කරගන්න එක. ලෝකේ ඉන්න හොඳම කෝකියා ඉන්නේ තමන්ගේ ගෙදර ලු නේ. ඒ තමයි ඉතින් අම්මා. ඉතින් අම්මා හදන මොන කෑමත් දිව්‍ය භෝජන පරාදයි.
ඒ දේවල් කොහොම වුනත් දැන් ඉන්න දරුවන්ට නිවාඩු කාලය කියන්නේ අවුරුද්දෙත් තවත් එක් කාලයක් විතරයි. ඉස්සර අපිට වාරයක් අවසන් වෙනකොට නිවාඩු දුන්නත් මේ කොවිඩ් කාලයෙන් පස්සේ නිවාඩු දුන්නේ වාරය ඉවර කරන්න නෙවෙයි. ඒ වගේ මේ අවුරුද්දත් අවසන් කරේ 2024 තුන්වෙනි පාසල් වාරය අවසන් වෙලා නම් නෙවෙයි. තුන්වෙනි වාරයේ තවත් කොටසක් අලුත් අවුරුද්දේ ජනවාරි මාසයෙත් පැවැත්වෙනවා. ඉතින් පාසල් යන පොඩ්ඩන්ට සිදු වෙන්නේ නිවාඩු මාසයෙත් වාර විභාග වලට පාඩම්කරන්න.
එයාලගේ ලෝකෙ දැන් පිරිලා තියෙන්නේ වාර විභාගයි අමතර පන්තිවලිනුයි. නිවාඩු මාසයක් දුන්නට ඒ හැම දවසකම උදේ නම් හවස් වෙනකන් අමතර පන්ති නම් ඉවරයක් නැහැ. පන්ති නැත වෙලාවටත් එක එක විදිය පේපර් කරන්න, ඉංග්‍රීසි වචන පාඩම් කරන්න, ගණිතය ගැටළු විසඳන්න වගේ එකී මෙකී නොකී ගොඩක් දේවල් ඔවුන්ට පැවරිලා.
ලංකාවෙ අධ්‍යාපන ක්රමයේ වරදක් නිසාදෝ දෙමව්පියනුත් මේ රටාවටම හැඩගැහිලා. ඉස්සර නිවාඩු කාලයක් එනකන් දෙමව්පියොත් බලන් ඉන්නේ තමන්ගේ ගම්වල ගිහිල්ලා ආච්චිල සීල බලලා හිතට නිදහසක් අරගෙන එන්න. හැබැයි දැන් දෙමව්පියෝ ගමේ යන්න නෙවෙයි ගෙදර වත් දරුවන්ට නිදහසේ ඉන්න පුංචි වෙලාවක් වෙන් කරනවද කියන එක මට ප්‍රශ්නයක්.. බැට් එකක් බෝලයක් අතට ගත්තත් දෙමව්පියන් පුරුදු වෙලා තියෙන්නේ දරුවන්ට කෑ ගහන්න. අර පන්තියේ වැඩ කරාද ? පන්තියේ වචන පාඩම් කළාද? ගණිතය වැඩ ඉවරද? මේ තමයි අම්මල තාත්තලගෙත් කටේ නිතරම දෝංකාර දෙන වචන පේළිය.
ඉතින් දරුවන්ට කෝ නිදහසක් ????
දරුවන්ට කෝ නිදහසක්
කොයි වෙලෙත් වැඩ කන්දක්
මනසටත් නෑ නිදහසක්
දකින්නෙම පොත් ගොන්නක්...
බැට් එකයි බෝලෙයි තහනම්
කරන්නට නම් බෑ සෙල්ලම්
සෙල්ලම් වගේද මේ පාඩම්
පන්තියේ එක වෙන්න නම්...