පානම කියන්නෙ ලස්සන මුහුදු වෙරළක් ය කියලා හිතාගෙන උන්නු මට මේ ලස්සන ගම දැක්කම මුහුදු වෙරළක් නොවී,ගමක චිත්‍රයක් වෙන්න හිතපු එක කොයිතරම් හොඳද කියලා හිතුණා. සොබාදහමට හැකිතාක් ඒ විදියටම පවතින්න ඉඩ දීලා බොහොම නිවුණ හදවතකින් ජීවත් වෙන වයසක සීයා කෙනෙක් වගෙයි මට මේ ගම දැනුණෙ.
කුඹුරු වලට බැහැගෙන ඉන්න කොක් නෝනා මහත්තුරු උදේම වැඩ පටන් අරන්. මං හිතන්නෙ එයාලට ලොකු රාජකාරියක් පැවරිලා තියෙනවා මේ කුඹුරු අයිති උදවියගෙන්. කොච්චර ලස්සනද අනේ ඔයාලා? ඒ මදිවට මේ වඳුරු රාළලා. හරි කරදරයක් වෙන්න ඇති එයාල ගොවි මහත්තුරුන්ට නම්. ඒත් පුංචි පැංචන්ව තුරුල් කරන් කුඹුරු මැද්දෙ වාඩි වෙලා සතුටු සාමිචියේ යෙදෙන මේ කණ්ඩායම් සඟයො දැක්කහම හිත තෙත් වෙනවා. ඒ අයගෙ ඇවතුම් පැවතුම් එහෙමත් එහෙමනෙ.
හදිසියෙ ඇස් ඉස්සරහට ඇවිත් හදිසියේ අතුරුදහන් වෙන කුරුලු පැංචො පැංචියො තමයි මේ ගමේ තියෙන ලස්සනම කුඩාම ඒත් විශාලම පුදුමය. තත්පර ගාණක් විතරක් දකින්න වෙන සොබාදහමේ මේ පුංචි මායාකරයොන්ට මම නම් සෑහෙන්න ණයයි.
මේ ලස්සන ලස්සනම කොළ පාටින් දිලිසෙන කුඹුරු යායවල් ඇස් වලට සුවදායකයි. මේ කුඹුරු පිසගෙන එන හුළං, මඩ සුවඳ දැනෙනකොට කෘතවේදීත්වයක් හිත පුරා දුවලා යනවා. තමන්ගෙ දහදිය මහන්සිය කැපකරලා, මේ ලස්සන ගම, පාර හදල තිව්ව ගොවි මහත්වරු වෙනුවෙන්!
ගමේ තියෙන තරමක් විශාල වැව තමයි මේ කුඹුරු යායවල් වලට ජීවය දෙන්නෙ. ඒ විතරක් නෙමෙයි මී හරක් පවුලෙ සාමාජිකයොන්ට ඔහේ බැහැල වැතිරලා ඉන්න තැනක් හදලා දෙන්නෙ. මේ පාර අයිනෙ හැමතැනම පුංචි පුංචි වතුර පාරවල්. වැස්ස අපිට ඉතුරු කරලා ගිය පුංචි පා සටහන් ඒ.
සමහරවිට වඳුරු අම්මෙක් වඳුරු බබෙක්ට කරන පුංචි තරවටුවක්, ලේන තාත්තෙක් කලබලෙන් ඇවිදින සද්දයක්, අලුත් දවසක් ගැන සතුටට පත් වුණ කුරුලු කෙල්ලෙක් ඔහේ මුමුණන ගීතයක් හැරුණම කිසි සද්දයක් නෑ එහේ. හරියට සාමයේ මාවතක් වගේ..!
මේ ගහකොළ කඳුවැටි, වැව්, ඇළ දොළ සහ අපිට වඩා සොබාදහමට කිට්ටුවෙන් ගැවසෙන එක එක වර්ගයේ සතුන් මාව නම් ජීවිත කාලයක් පුරා දහස් වාරයක් සතුටින් තියලා තියෙනවා මගෙන් කිසිවක් ආපසු නොලබාම. ඒ නිසා මං මේ හැමදේකටම හරිම කෘතවේදී. සොබාදහම කියන්නෙ ගහකොළ ඇළ දොළ සතා සීපා වම නොවුණට ඒ හැමදේකටම කිට්ටුවෙන් ජීවත් වෙන්න ලැබෙන එකම කොයිතරම් නම් වාසනාවක්ද?
Originally published on my facebook page